කවුළුවෙන් එබෙන සඳ එළිය ඊයේ වගේම අදත් කාමරයට වැටෙමින් තිබේ. ඒත් අද මගේ කොට්ටය අද්දර තිබුණේ මහා හිස්බවක් සහ පාළුවක් පමණි. ඊයේ මේ වෙලාවේ මගේ පපුවට තුරුළු වී, මගේ හුස්ම රිද්මයට සුවබර නින්දක හිටිය ඒ පුංචි ජීවියා, අද වනජීවී රෝහලේ සීතල යකඩ කූඩුවක් ඇතුලේ මාව හොයනවා ඇති කියලා හිතෙද්දී පපුව හෝස් ගාලා පිච්චී යයි.
අපි මුලින්ම හමුවුණු දවස මට තාම මතකයි. උඹේ ඒ නපුරු පුංචි මුහුණ විරිත්තලා, "මම කැලෑවේ එකෙක්, මට ලං වෙන්න එපා" කියලා මට මතක් කරන්න උඹ එදා උපරිමයෙන් උත්සාහ කළා. වන සතුන්ට උරුම ඒ සහජ බිය සහ නපුරු ගතිය උඹේ ඇස්වල ලියැවී තිබුණි. ඒත් දෙවැනි දවසේ උඹ මගේ ඇස් දිහා බැලුවේ වෙනස්ම විදිහකටයි. මිනිස්සුන්ට වෛර කරනවා වෙනුවට, මේ ලෝකේ උඹට ඉන්න එකම පිහිට මම විතරයි කියලා උඹේ ඒ පුංචි හිතට දැනෙන්නට ඇත.
දවස් දෙකක් කියන්නේ හරිම කෙටි කාලයක් වුණත්, ඒ කාලය ඇතුලේ අපි අතර ගොඩනැගුණේ අවුරුදු ගාණක බැඳීමක් බඳු වූ ආදරයකි. උඹ මගේ ඇඟට තුරුළු වී නිදාගන්නා විට මට දැනුණේ මගේම දරුවෙකුගේ උණුසුමයි. ඇයි මම ළඟ උඹ මෙච්චර ඉක්මනට හීලෑ වුණේ කියලා මම මගෙන්ම දහස් වාරයක් ඇසුවෙමි. ඒ ආදරය හමුවේ කැලෑ ගතිය මැකී ගොස්, අහිංසක සුරතලෙකු පමණක් ඉතිරි විය.
නමුත් ලංකාවේ නීතිය හරිම අකරුණාවන්තයි කියලා මට හිතුණේ උඹව වනජීවී නිලධාරීන්ට භාර දෙන මොහොතේදීය. අපිට ඔයාව හැමදාටම තියා ගන්න බැහැ මැණික. උඹේ නියම අයිතිය තිබෙන්නේ මහ වනයටයි. උඹ මගේ දිහා බලාගෙන හිටපු ඒ අසරණ බැල්ම ඉස්සරහ මගේ ඇස් කඳුළින් පිරී ගියේ මටත් නොදැනුවත්වමය. "සමා වෙන්න පැටියෝ, ඔයාව හැමදාටම මගේ ළඟ තියාගන්න මට අයිතියක් නැහැ" කියලා මම මටම මිමුණුවේ පපුව පැලෙන්නට එන වේදනාව දරාගෙනය.
උඹ නමෙන් "හඳුන් දිවියෙක්" වුණාට, මට නම් උඹ මගේම "හඳුන් මැණිකේ" ය. උඹට ආදරේ කරන, උඹව බලාගන්නා පිරිසක් හමුවන්න කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. අනාගතයේ දවසක උඹ මේ පොළොවට දුවා දරුවන් රැසක් දායාද කරන හැඩකාර දිවි දෙනක වෙලා, නිදහසේ මහ කැලෑවේ රජ කරනවා දකින්න මම පෙරුම් පුරමි.
සැබෑ ආදරය යනු තමා සතු කරගැනීම නොව, අනෙකාගේ නිදහස වෙනුවෙන් තමාගේ සතුට පරිත්‍යාග කිරීම බව උඹ මට දින දෙකකින් කියා දුන්නා. උඹ කොහේ හිටියත්, උඹේ සුවඳ මගේ හිතේ හැමදාම තියේවි.
ඔයා කොහේ හිටියත්, මම ඔයාට ආදරෙයි මැණිකේ... මේ දින දෙකේ මතකය මගේ ජීවිතයේ අමතක නොවන පරිච්ඡේදයක් වනු ඇත.
වන සතුන්ගේ නිදහස වෙනුවෙන් ගත් මේ තීරණය ගැන ඔබ මොකද හිතන්නේ? සතෙක් එක්ක මෙච්චර ඉක්මනට බැඳීමක් ඇති වෙන්න පුළුවන්ද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න.
මුහුණු පොතෙන් උපුටා ගැනීමකි













0 Comments