දරුවෙකු අසනීප වූ විට ඕනෑම මවක් හෝ පියෙක් ඔහුව රැගෙන යන්නේ රෝහලකටයි. ඒ තම දරුවා සුවපත් වේ යැයි ඇති දැඩි විශ්වාසය නිසාවෙනි. නමුත් පාකිස්තානයේ 'තවුන්සා' (Taunsa) නගරයේ මව්පියන්ට සිදු වූයේ කිසිසේත් අදහාගත නොහැකි විනාශයකි. සුවපත් වීමට රෝහලට ගිය දරුවන් සිය ගණනක් ආපසු නිවසට පැමිණියේ මාරාන්තික HIV වෛරසය ශරීරගත කරගෙනය.
අහිංසක ජීවිත බිලිගත් සෞඛ්‍ය පද්ධතිය අට හැවිරිදි මොහොමඩ් අමීන් මියගියේ දැඩි උණ රෝගයකින් පසුවයි. ඔහු මියයන විට HIV ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබුණි. ඔහුට මේ වෛරසය ශරීරගත වූයේ 'තවුන්සා' රජයේ රෝහලෙන් (THQ Taunsa) ලබා දුන් එන්නත් හරහා බව පවුලේ අය විශ්වාස කරති. මොහොමඩ්ගේ දස හැවිරිදි සොහොයුරිය වන අස්මා (Asma) ද දැන් HIV ආසාදිතයෙකි. ඇයට දැන් ජීවිත කාලය පුරාම දිනපතා ඖෂධ ගැනීමට සිදු වී ඇත. "මල්ලි මාත් එක්ක හැමදාම රණ්ඩු වුණා, ඒත් එයා මට ගොඩක් ආදරෙයි" අස්මා පවසන්නේ සිය මල්ලීගේ සොහොන අසල වැලපෙමිනි.
BBC විමර්ශනයෙන් හෙළි වූ පිළිකුල් සහගත දර්ශන මේ පිළිබඳව BBC පුවත් සේවය කළ රහසිගත විමර්ශනයකින් අනාවරණය වන්නේ, රෝහල් කාර්ය මණ්ඩලය එකම සිරින්ජය නැවත නැවතත් දරුවන් කිහිප දෙනෙකුට එන්නත් කිරීමට භාවිතා කර ඇති බවයි. 2024 නොවැම්බර් සහ 2025 ඔක්තෝබර් අතර කාලය තුළ පමණක් මෙම නගරයේ දරුවන් 331 දෙනෙකු HIV ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණි. විශේෂත්වය නම්, මෙම දරුවන්ගේ මව්වරුන්ට HIV නොතිබීමයි. රහසිගත කැමරා දර්ශන මගින් හෙළි වූයේ:
- එකම සිරින්ජය භාවිතා කර ඖෂධ බෝතලයකින් (Vial) බෙහෙත් ඇද ගැනීම.
- එක් දරුවෙකුට විද ඉතිරි වූ බෙහෙත් සහිත සිරින්ජය තවත් දරුවෙකුට විදීමට හෙදියන් කටයුතු කිරීම.
- වෛද්‍ය අපද්‍රව්‍ය සහ පාවිච්චි කළ ඉඳිකටු රෝහල් මේස මත අපරික්ෂාකාරී ලෙස දමා තිබීම.
පද්ධතියේ අසමත්කම සහ රජයේ බොරු පියවර 2025 මුලදී මෙම පුවත ප්‍රසිද්ධ වූ විට පන්ජාබ් සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ රෝහලේ පාලකයා වැඩ තහනමට ලක් කළ බවයි. නමුත් BBC කළ රහසිගත විමර්ශනය සිදුවූයේ රජයේ මෙම "විසඳුමෙන්" මාස කිහිපයකට පසුවයි. රජය පවසන පරිදි කිසිදු වෙනසක් සිදුවී නොතිබූ අතර, තවදුරටත් අපරික්ෂාකාරී ලෙස සිරින්ජ භාවිතය සිදුවෙමින් තිබුණි. වැඩ තහනමට ලක් වූ වෛද්‍යවරයා පවා පසුව වෙනත් රජයේ සායනයක සේවයට බඳවා ගෙන තිබීම දේශපාලනික දූෂණය මනාව පසක් කරයි.
මෙවැනිම සිදුවීමක් 2019 වසරේදී පාකිස්තානයේ 'ලර්කානා' ප්‍රදේශයේදී ද වාර්තා වූ අතර එහිදී දරුවන් 900 කට HIV බෝ විය. එක් වරක් පමණක් භාවිතා කළ හැකි සිරින්ජ (Single-use syringes) මිලෙන් ඉතා අඩු වුවද, ගැටලුව පවතින්නේ තාක්ෂණයේ හෝ සම්පත්වල නොව, වටිනා ජීවිත පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයට ඇති නොසැලකිල්ලයි. අහිංසක අස්මා වැනි දරුවන්ට දැන් සිදුව ඇත්තේ අන් අයගේ වැරදිවලට ජීවිත කාලය පුරාම වන්දි ගෙවීමටයි.












0 Comments