මැදපෙරදිග කලාපයේ සාමය සඳහා බලාපොරොත්තු දල්වමින් ඇමරිකාව සහ ඉරානය අතර සති දෙකක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, එය අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය විසින් (2026 අප්‍රේල් 09) ලෙබනනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරයෙන් මුළු ලෝකයම කම්පනයට පත්ව තිබේ. "Operation Eternal Darkness" ලෙස නම් කරන ලද මෙම මෙහෙයුමේදී ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් මිනිත්තු 10 ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනය පුරා පිහිටි හෙස්බුල් මධ්‍යස්ථාන 100 කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 254 කට අධික පිරිසක් මියගොස් 1,100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.
ප්‍රහාරයේ වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ ලෙබනනයේ අගනුවර වන බෙයිරූට් (Beirut) නුවර මධ්‍යයේ පිහිටි ජනාකීර්ණ වාණිජ සහ නේවාසික ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙම බෝම්බ හෙළීම සිදු කිරීමයි. පස්වරු කාලයේ කාර්යබහුල වේලාවක එල්ල වූ මෙම ප්‍රහාර නිසා බෙයිරූට් නුවර මාවත් වීදුරු කැබලි සහ සුන්බුන්වලින් වැසී ගිය අතර, දහස් සංඛ්‍යාත ජනතාව භීතියෙන් යුතුව ආරක්ෂිත ස්ථාන කරා දිව යන අයුරු වීඩියෝ දර්ශනවල සටහන් වී තිබුණි. නගරයේ නේවාසික ගොඩනැගිලි කිහිපයක්ම සෘජුවම ප්‍රහාරයට ලක්ව ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් දැඩි වෙහෙසක් දරමින් සිටිති.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය ලෙබනනයට හෝ හෙස්බුල් සංවිධානයට අදාළ නොවන බවයි.
ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශ අතර බෙයිරූට් වරාය ආසන්න ප්‍රදේශ, ටයර් (Tyre) සහ සීඩොන් (Sidon) වැනි ප්‍රධාන නගර මෙන්ම බෙකා නිම්නයද (Bekaa Valley) ඇතුළත් වේ.
මෙම උත්සන්න වීමත් සමඟ ඇමරිකා-ඉරාන සටන් විරාමය බිඳ වැටීමේ අවදානමක්ද මතුව තිබේ. ඉරානය පවසන්නේ ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සටන් විරාමයේ ප්‍රධාන කොන්දේසියක් බවයි. ලෝකයම සාමය අපේක්ෂා කළ මොහොතක ඊශ්‍රායලය විසින් සිදු කළ මෙම දරුණු මැදිහත්වීම මැදපෙරදිග තත්ත්වය තවත් දරුණු මට්ටමකට ගෙන ගොස් ඇත. බෙයිරූට් අහස කළු දුමාරයෙන් වැසී පවතින අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව වාර්තා වේ. මෙම බිහිසුණු යුද වාතාවරණයේ නවතම තොරතුරු සහ ලෙබනනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව නිවැරදි තොරතුරු දැනගැනීමට MegaNews.lk සමඟ දිගටම රැඳී සිටින්න.
වීඩියෝව මෙතැනින්. 👇












0 Comments