ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන පද්ධතිය තුළ සිදුවන මූල්‍ය අක්‍රමිකතා සහ සයිබර් අවදානම් පිළිබඳව දැඩි කතාබහක් ඇති කරමින්, තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විදේශීය ගෙවීමක මුදලක් අදාළ පාර්ශ්ව වෙත නොලැබීමේ තවත් බරපතල සිදුවීමක් වාර්තා වේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (28) පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු තැපැල් සේවය (US Post) වෙත ගෙවිය යුතුව තිබූ ඩොලර් ලක්ෂ 6ක මුදලක් (අමෙරිකානු ඩොලර් 600,000 ක්) මෙලෙස අතුරුදන් වී ඇති බවයි. මෙම අනාවරණය සිදුවූයේ මීට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඔස්ට්‍රේලියානු ආයතනයකට ගෙවීමට ගිය ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරයෙකුගේ ගිණුමට බැර වීමේ සිද්ධිය පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය.
අමාත්‍යවරයා පවසන පරිදි, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් මෙම අදාළ මුදල බැර කර ඇති බව ප්‍රකාශ කළ ද, US Post ආයතනය දැනුම් දී ඇත්තේ තමන් වෙත එවැනි මුදලක් මෙතෙක් ලැබී නොමැති බවයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන්නේ මෙම ගෙවීම් සම්බන්ධයෙන් මීට පෙර ද දෙවරක් පමණ විවිධ ගැටලු මතු වී තිබීම හේතුවෙනි. රාජ්‍ය ආයතනයකින් තවත් ජාත්‍යන්තර ආයතනයකට සිදුවන මෙවැනි ගෙවීම්වලදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව දැන් විශාල ප්‍රශ්නාර්ථයක් මතු වී තිබේ. මෙම මුදල් ප්‍රමාණය ලංකාවේ මුදලින් රුපියල් කෝටි ගණනක් වන බැවින්, මෙවැනි අතපසුවීම් හෝ වංචාවන් රටේ ආර්ථිකයට සෘජුවම බලපෑම් එල්ල කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් රජය දැනටමත් ආයතනික මට්ටමින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන දෙකක් ආරම්භ කර ඇති බව නලින්ද ජයතිස්ස ඇමතිවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව දැනටමත් CID වෙත පැමිණිලි කර ඇති අතර, අදාළ ගෙවීම් සිදු කළ නිලධාරීන්ගේ භූමිකාව පිළිබඳව ද අභ්‍යන්තර පරීක්ෂණ ක්‍රියාත්මක වේ. "ආයතනවල සිදුවන මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් අපි ඉතාමත් දැඩිව ක්‍රියා කරනවා. CID එක දැනටමත් යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා" යනුවෙන් අමාත්‍යවරයා පැවසීය. කෙසේ වෙතත්, මෙම සියලු කරුණු කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවන නමුත් අදාළ අමාත්‍යාංශ මට්ටමින් විසඳුම් සෙවීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.
ඩොලර් මිලියන 2.5 ක සිද්ධියේදී හැකර්වරයෙකු මැදිහත් වී මුදල් වෙනත් ගිණුමකට හරවා ගත් ආකාරයටම, මෙම තැපැල් දෙපාර්තමේන්තුවේ මුදල් ලක්ෂ 6ට ද එවැනිම සයිබර් ප්‍රහාරයක් එල්ල වූයේ ද යන්න පිළිබඳව විමර්ශකයින් අවධානය යොමු කර ඇත. රාජ්‍ය ආයතනවල විද්‍යුත් තැපැල් (Email) පද්ධතිවල පවතින දුර්වලතා උපයෝගී කර ගනිමින් වංචාකරුවන් මෙලෙස රාජ්‍ය මුදල් කොල්ලකෑමේ අවදානමක් පවතින බව මීට පෙර ද තොරතුරු තාක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවා තිබුණි. රජයේ මුදල් ආරක්ෂා කර ගැනීමට වත්මන් ආණ්ඩුව දැඩි උත්සාහයක් දරන බව පවසන අතරතුර මෙවැනි සිදුවීම් පිට පිට වාර්තා වීම දේශපාලන වශයෙන් ද දැඩි කතාබහට ලක්වන්නකිෟ












0 Comments