අද කාලේ බස් හෝල්ට් එකක, රෝහලක නැත්නම් Shopping Mall එකක වුණත් "Free Wi-Fi" තියෙනවා දැක්කම අපේ අය කරන්නේ මොකක්ද? කිසිම දෙගිඩියාවක් නැතුව ඒකට ලොග් වෙලා Facebook, YouTube විතරක් නෙමෙයි, බැංකු ගිණුම්වලට පවා ලොග් වෙලා ගනුදෙනු සිදු කරනවා. හැබැයි මේ පාවිච්චි කරන "නොමිලේ Wi-Fi" එක ඇත්තටම හැකර් කෙනෙක් දාපු "මී උගුලක්" වෙන්න පුළුවන් කියලා ඔයාලා කවදා හරි හිතුවාද? මේක අද කාලේ සයිබර් අපරාධකාරයෝ පාවිච්චි කරන ඉතාමත් පහසු ක්‍රමයක්.
සාමාන්‍යයෙන් හැකර්වරු කරන්නේ "Evil Twin" කියලා හඳුන්වන ක්‍රමයක්. උදාහරණයකට ඔයාලා රෝහලක ඉන්නවා නම්, ඔවුන් රෝහලේ නමට සමාන වෙනත් Wi-Fi Hotspot එකක් නිර්මාණය කරනවා. ඒක රෝහලේ එක කියලා හිතලා ලොග් වුණ ගමන්, ජංගම දුරකථනයෙන් හුවමාරු වන හැම දත්තයක්ම යන්නේ අර හැකර්ගේ පරිගණකය හරහායි. මේකට තාක්ෂණිකව කියන්නේ "Man-in-the-Middle" attack එකක් කියලා. බැංකු ඇප් එකට ලොග් වෙද්දී ඇතුළත් කරන මුරපද (Password), OTP කේත පවා හැකර්ට ඒ වෙලාවෙම ලබාගන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මේ වගේ පොදු Wi-Fi ජාලවල කිසිම ආරක්ෂිත ක්‍රමවේදයක් (Encryption) නැහැ. ඒ නිසා පෞද්ගලික ඡායාරූප, ඊමේල් සහ පණිවිඩ පවා ඉතාමත් පහසුවෙන් සොරාගන්න පුළුවන්. සමහර අය හිතනවා ඇති "මම ලොකු සල්ලි කාරයෙක් නෙමෙයිනේ" කියලා. හැබැයි බැංකු ගිණුමේ තියෙන සුළු මුදල වුණත් හැකර්ට වටිනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාලගේ පෞද්ගලික දත්ත අරගෙන බ්ලැක්මේල් කරමින් මුදල් වංචා කිරීමට වුණත් ඔවුන්ට හැකියාව තිබෙනවා.
ඉතින් මේ වගේ සයිබර් ප්‍රහාරවලින් බේරෙන්නේ කොහොමද? වඩාත්ම ආරක්ෂිත ක්‍රමය තමයි පොදු ස්ථානවල තියෙන Free Wi-Fi පාවිච්චි කරලා බැංකු ගිණුම්වලට ලොග් නොවී සිටීම. අනිවාර්යෙන්ම ලොග් වෙන්න අවශ්‍යම නම්, විශ්වාසවන්ත VPN එකක් පාවිච්චි කරන්න. ඒ වගේම දුරකථනයේ "Auto-connect to Wi-Fi" කියන පහසුකම අක්‍රීය කරලා තැබීම ඉතාමත් වැදගත්. මතක තියාගන්න, "නොමිලේ" දෙන හැමදේම පිටුපස විශාල අවදානමක් තිබිය හැකි බව.












0 Comments