පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රඳවා තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තුළ අද (4) අතිශය උණුසුම් සහ ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය විය. සැකකාර සුරේෂ් සලේ මහතා විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ඔහුගේ නීතිඥවරුන් කළ ඉල්ලීමට අදාළ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නිවේදනය කළේය.
මෙම නඩුව අද දින කැඳවනු ලැබුවේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ හදිසි මෝසමකට අනුවය. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පෙර උසාවි නියෝගයකට අනුව සලේ මහතා අධිකරණ මානසික වෛද්‍ය, පෝෂණවේදී සහ අක්ෂි වෛද්‍ය ඇතුළු විශේෂඥයන් වෙත ඉදිරිපත් කර තිබූ බවයි. නමුත් එම වෛද්‍යවරුන් ලබා දුන් පෝෂණ සහ ශාරීරික නිර්දේශ (උදාහරණ ලෙස විනාඩි 30ක් එළියට දැමීම සහ නියමිත ආහාර ලැයිස්තුව ලබා දීම) මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.
"මම ඉන්නේ අඩි 6යි 4ක කාමරේක... මම සතෙක්ද?"
ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් වෛද්‍ය වාර්තා උපුටා දක්වමින් පැවසුවේ, අත්අඩංගුවට ගැනීමට පෙර කිසිදු මානසික රෝගයක් නොතිබූ සුරේෂ් සලේ මහතා, මේ වන විට පවතින දැඩි මානසික පීඩනය සහ කාංසාව (Anxiety) හේතුවෙන් දිවි නසාගැනීමේ (Suicidal Tendency) ප්‍රවණතාවයකට පවා යොමු වීමේ අවදානමක් ඇති බව වෛද්‍යවරුන් පෙන්වා දී ඇති බවයි.
එමෙන්ම, සුරේෂ් සලේ මහතා මානසික වෛද්‍යවරයා හමුවේ පවසා ඇති කම්පනකාරී විස්තර ද නීතිඥවරයා උසාවියට කියෙව්වේය: "මම ඉන්නේ අඩි හයයි හතරේ කාමරයක. එතැන මීයන්ගෙන් කරදර තිබෙනවා, විදුලි පංකාවක් නෑ. සුදු ඇඳුම් ඇඳගත්ත පිරිසක් ඇවිත් මගේ ඇඳුම් ඉවත් කරලා, සියලු රැඳවියන් ඉදිරිපිට පරීක්ෂා කළා. ඉතිරි දේවල් කියන්නත් ලැජ්ජයි. මම සතෙක්ද? අවුරුදු 37ක් රාජ්‍ය සේවයේ හිටපු නිලධාරියෙක්..." කෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන් තමන්ට හොඳින් සලකන බවද ඔහු එහිදී පවසා තිබේ.
"මොහු හොඳ රංගන ශිල්පියෙක්, ඔස්කාර් දෙන්න ඕනේ" - CID
විත්ති පාර්ශවයේ මෙම දීර්ඝ ආඳෝලනාත්මක ප්‍රකාශයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කරුණු දැක්වීය. ඔහු කියා සිටියේ අභියාචනාධිකරණයේ පවතින රිට් පෙත්සමකට සමගාමීව, සැලසුම්සහගත කුමන්ත්‍රණයකින් මෙම මෝසම ඊයේ දින හදිසියේ ඉදිරිපත් කර ඇති බවයි.
අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වෛද්‍ය වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසීය: "ස්වාමීනි, මේ සැකකරු සෑම බදාදාවකම නීතිඥවරු, බිරිඳ සහ දරුවන් මුණගැසෙනවා. එහෙම වධහිංසා කළා නම් ඔවුන්ට නොකීවේ ඇයි? මේ බුද්ධි අංශ නිලධාරියෙක් වෛද්‍ය පරීක්ෂණයේදී හඬා වැලපිලා තියෙනවා. එහෙම පුද්ගලයෙක් හඬයිද ස්වාමීනි? මොහු පතෝල කරලක් නෙවෙයි. මොහු හොඳ රංගන ශිල්පියෙක්. ඔහුට ඔස්කාර් සම්මානය දෙන්න ඕනේ."
මෙම මානසික රෝගී තත්ත්වයන් සාමාන්‍යයෙන් අපරාධකරුවන්ට හැදෙන සාමාන්‍ය ලෙඩ බවත්, මෙය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද බොරු වාර්තාවක් බවත් පැවසූ දිලීප පීරිස් මහතා, සැකකරු සියදිවි නසාගැනීමේ තත්ත්වයට පත් කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන්ට තමන් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය. සියලු පාර්ශවයන්ගේ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, මෝසමට අදාළ අවසාන තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව නැවත ලබන 10 වැනිදා කැඳවීමට නියෝග කළේය.













0 Comments