තමන්ගේ ත්‍රිවිල් රථය පණ ගැන්වූ චම්පික, "අනේ පුතේ මගේ ෆෝන් එක බස් එකේ හිටිය කෙනෙක් අරගෙන" යැයි එම මව පවසද්දී, "නගින්න අම්මේ තුන්දෙනාම, මම බස් එක පන්නන්නම්" යැයි පවසමින් වහාම මෙහෙයුම ආරම්භ කළේය. බස් රථය පසුපස කිලෝමීටර් ගණනාවක් සිය ත්‍රිවිල් රථය "හැටට හැටේ" ධාවනය කරමින් ලුහුබැඳ ගිය ඔහු, අවසානයේදී පොහද්දරමුල්ල ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ගලයෙකු බසයෙන් බැස පලා යාමට උත්සාහ කරන අයුරු නිරීක්ෂණය කළේය. "අන්න පුතේ අරයා තමයි ගත්තේ" යනුවෙන් එම මව පෙන්වා දුන් වහාම, ත්‍රිවිල් රථයෙන් බැස දිව ගිය චම්පික, එම සැකකරු අල්ලා ගැනීමට සමත් විය. පරීක්ෂා කිරීමේදී සොරකම් කරන ලද ජංගම දුරකථනය සැකකරුගේ සාක්කුවේ තිබී හමු වූ අතර, චම්පික වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සැකකරු පොලිසියට භාර දීමට කටයුතු කළේය.
සීතල අඩුවට ගෙදරටම! ❄️
මෙම වීර ක්‍රියාව එතැනින් අවසන් නොවීය. චම්පික විසින් අදාළ මව සහ දරුවන් දෙදෙනා සිය ත්‍රිවිල් රථයෙන්ම වාද්දුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගිය අතර, එහිදී සාක්ෂි ලබා දීම සඳහා ඔහුට පැය හතරකට අධික කාලයක් රඳවා තබා ගැනීමට සිදු විය. එදිනෙදා හයර් දුවා ජීවත් වන රියදුරෙකුට පැය හතරක් යනු ඔහුගේ දවසේ ආදායමෙන් සැලකිය යුතු කොටසකි. ඔහුට ලැබෙන්නට තිබූ හයර් කිහිපයක්ම මඟහැරී ගියද, ඔහු ඒ පිළිබඳව කිසිදු කනගාටුවක් පළ නොකළේය. පොලිස් කටයුතුවලින් අනතුරුව එම මව සිය පර්ස් එකේ තිබූ අවසාන රුපියල් 700ක මුදල චම්පිකට ලබා දෙමින් "පුතේ ගාස්තුව කීයද?" කියා විමසූ විට, ඔහු දුන් පිළිතුර මුළු රටටම ආදර්ශයකි. "මට සල්ලි එපා අම්මා, ඔයාලා දුන්න පිං මට මිල කරන්න බෑ" යනුවෙන් පවසමින් ඔහු එම මුදල ප්‍රතික්ෂේප කළේය.
සමාජය තුළ ත්‍රිවිල් රියදුරන් පිළිබඳව ඇතැම් අවස්ථාවල පවතින අයහපත් ආකල්ප බිඳ දමමින් චම්පික ජයසේකර මහතා පෙන්වූයේ සැබෑ මනුෂ්‍යත්වයයි. තමන්ට කිසිදු වාසියක් නොමැතිව, හුදෙක් අසරණ වූ පවුලක් වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය සහ ආදායම පූජා කළ ඔහු වැනි මිනිසුන් අද කාලේ ඉතා දුර්ලභය. මෙවැනි අභීත පුද්ගලයන් ඇගයීමට ලක් කිරීම රජයේ මෙන්ම පොලිසියේ ද වගකීමකි. සම්මාන සහ උපහාර පිරිනැමිය යුත්තේ මෙවැනි සැබෑ වීරයන්ටය. චම්පික වැනි මිනිසුන් නිසා තවමත් ලෝකය සුන්දර තැනක් ලෙස පවතී.












0 Comments