ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද විදේශ ණය වාරික ගෙවීමකදී ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් ලබා ගැනීමේ සිදුවීම හුදෙක් සයිබර් ප්‍රහාරයක් පමණක් නොව, එය රජයේ මූල්‍ය කළමනාකරණයේ පවතින බරපතල නොසැලකිලිමත්කමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. රජයන් දෙකක් අතර සිදුවන මෙවැනි රාජ්‍ය මට්ටමේ ගනුදෙනුවකට බාහිර හැකර්වරුන් මැදිහත් වීමට අවස්ථාව ලැබුණේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරයි. සාමාන්‍ය බැංකු පද්ධතියක් තුළ පවා මූල්‍ය හුවමාරුවක් සිදුවන විට අනුගමනය කළ යුතු අන්තර්ජාතික මට්ටමේ ආරක්ෂිත පියවරයන් රැසක් පවතින බවත්, මෙම ගනුදෙනුවේදී එම මූලික ආරක්ෂණ පද්ධති පවා ක්‍රියාත්මක වී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි. මෙය රටේ මහජනතාවගේ මුදල් සම්බන්ධයෙන් රජය දක්වන වගකීම් විරහිතභාවය මනාව පෙන්නුම් කරන්නක් බව විපක්ෂ නායකවරයා පවසයි.
විපක්ෂ නායකවරයා මෙහිදී බැංකු පද්ධතියක සයිබර් ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන පියවර හයක් (6) පිළිබඳව තාක්ෂණික පැහැදිලි කිරීමක් සිදු කළේය. ඒ අනුව, ලියාපදිංචි සුදු ලැයිස්තුගත ඊමේල් ලිපින (Registered Whitelisted Email Address) ක්‍රමවේදය, ඊමේල් වගකීම් සහතික (Email Indemnities), දුරකථන මාර්ගයෙන් තහවුරු කිරීමේ (Call Back Verification) පියවර, පුද්ගලයන් දෙදෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වන (Dual Authorization/Four Eyes Principles) ක්‍රමවේදය, නිල SWIFT පද්ධතිය හරහා සිදුවන ගනුදෙනු (SWIFT Formal Settlement Channels) සහ ප්‍රතිලාභී ගිණුම් වෙනස් කිරීමේදී පනවන නිශ්චිත කාලසීමාව (Beneficiary Account Change Freeze Period) යන ආරක්ෂක විධිවිධාන පිළිබඳව ඔහු සිහිපත් කළේය. මෙතරම් ආරක්ෂිත ස්ථර ප්‍රමාණයක් පවතිද්දී, හැකර්වරුන් විසින් ඊමේල් පද්ධතියට ඇතුළු වී තොරතුරු වෙනස් කර මුදල් ලබා ගන්නා තෙක් නිලධාරීන් බලා සිටියේ මන්දැයි මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කළ යුතු බව ඔහු සඳහන් කළේය.
සීතල අඩුවට ගෙදරටම! ❄️
විශේෂයෙන්ම මෙම මූල්‍ය මංකොල්ලය වළක්වා ගැනීමට මහ බැංකුව විසින් අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් කර තිබූ බව විපක්ෂ නායකවරයා අනාවරණය කළේය. ණය කළමනාකරණ ආයතන වෙත මහ බැංකුව විසින් ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව පූර්ව දැනුම් දීම් සිදු කර තිබියදීත්, ඒවා ක්‍රියාත්මක නොකිරීම පිටුපස කිසියම් අදිසි හස්තයක් පවතින්නේද යන්න පිළිබඳව ඔහු සැක පළ කරයි. මහ බැංකුව වැනි වගකිවයුතු ආයතනයක අනතුරු ඇඟවීම් පවා නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා රටේ ඩොලර් මිලියන 2.5ක් වැනි අතිවිශාල මුදලක් අහිමි වීම ජාතික අපරාධයක් ලෙස ඔහු හඳුන්වයි. මෙම සමස්ත ක්‍රියාවලිය තුළ සිදුවී ඇති වැරදි සහ මගහැරීම් පිළිබඳව සොයා බැලීමට වහාම ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
අවසාන වශයෙන්, වත්මන් රජය "සුහුරු රාජ්‍ය පාලනය" (Smart Governance) පිළිබඳව නිරන්තරයෙන් කතා කළ ද, සැබෑ භූමිය තුළ සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සුහුරු පාලනයක් තුළ සයිබර් ආරක්ෂාව ප්‍රමුඛතාවයක් විය යුතු වුවද, හැකර්වරුන්ට රජයේ Email පද්ධතියට ඇතුළු වී මෙතරම් ලෙහෙසියෙන් මුදල් ලබා ගැනීමට හැකි වීම එම සංකල්පයේ අසාර්ථකත්වය පෙන්වන සාක්ෂියක් බව ඔහු සඳහන් කළේය. රටේ මූල්‍ය ආරක්ෂාව අනතුරේ හෙළමින් සිදු වූ මෙම මහා මූල්‍ය මංකොල්ලයේ සැබෑ වගකිවයුත්තන් කවුද සහ අහිමි වූ ඩොලර් මිලියන 2.5ට සිදු වූයේ කුමක්ද?













0 Comments