දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සොයා බැලීම සඳහා අද (13) විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සුළි කුණාටුව මෑත කාලීනව මෙරට සිදුවූ විශාලතම ස්වභාවික ව්‍යසනයක් ලෙස සැලකෙන අතර, ඉන් විනාශ වූ ජන ජීවිත සහ යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
දිස්ත්‍රික්කයේ අහිමි වූ මිනිස් ජීවිත සහ විනාශ වූ දේපළ සඳහා වන්දි ගෙවීම, ව්‍යාපාරික හානි පූරණය සහ නිවාස නැවත ඉදිකිරීම් කටයුතු පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙහිදී විමර්ශනය කෙරිණි. විශේෂයෙන්ම නැවත පදිංචි කිරීම් සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීමේ ක්‍රියාවලියෙහි පවතින ප්‍රගතිය පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමු විය.
වඩාත් අවධානයට ලක්වූ කරුණ වූයේ නිවාස අහිමිව කූඩාරම්වල ජීවත්වන වතු ජනතාව මුහුණ දෙන ගැටලුයි. පවතින වර්ෂා සහිත කාලගුණයත් සමඟ ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බැවින්, ඔවුන් නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව රැස්වීමේදී අවධාරණය කෙරිණි. ස්ථීර නිවාස ඉදිකරන තුරු එම ඉඩම්වලම තාවකාලික නිවාස ඉදිකර දීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසත් අදාළ අංශ වෙත උපදෙස් ලබා දෙන ලදී.
සහන වැඩපිළිවෙළේ මුල් අදියරේදී යම් ව්‍යාකූල තත්ත්වයක් පැවතියද, රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම සහ නිසි සැලසුම් මත දැන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව මෙහිදී ප්‍රකාශ විය. මෙම වැඩපිළිවෙළේ සැබෑ ප්‍රතිලාභ ජනතාවට ලැබිය යුත්තේ ඔවුන් ආරක්ෂිත නිවාසවල පදිංචි කිරීමෙන් සහ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම් කඩිනමින් සංවර්ධනය කිරීමෙන් බව ද පෙන්වා දෙන ලදී. රජයේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය විය.












0 Comments